මාද සඳම විය…

මිඳුලේ සේපාලිකා ගස් හෙවණේ බංකුවේ වාඩිවෙලා මම ඈත අහසේ බැස යන හිරු දෙස බලාගෙන හිටියා. හිරු අහිමි සොවින් අහස හඬනා මෙන් දෝ හීන් පොඳ වැස්සකුත් වැටුණා. අහස් තලේ දෙනෙත් කඳුළට ටිකෙන් ටික රතු වෙනවා කියලයි මට හිතුණේ. තව ටිකකින් තරු මල් පිරිවරාගෙන සඳ නැඟ ඒවි. ඒ තරු කොපමණ සිටියත් ඇයත් හිරුටම පෙම් බඳීවි. ඇයත් හිරු නැති සොවින් තැවෙවී. කිසිඳා හිමි නොවන බැව් දැන් දැනත් ඇයද හිරුම පතාවී. සැමදා උදයේ හිරු හිමිව සවසට අහිමිව අඳුරේ ගිලී යන අහස් තලය දෙස නෙත් යොමා ඈ නිහඬව දුක දරාගෙන ඉඳිවී.

"ලොකු දූ... "

අම්මාගේ කට හඬින් මගේ සිහින දෑලය බිඳී ගියා.

"මේ එනවා අම්මේ... "

මම බංකුවෙන් නැඟිටින්න හඳනකොට අම්මා එතනට ඇවිල්ලාත් ඉවරයි.

"මොනාද අම්මෝ ඔච්චර කල්පනා කරන්නේ?"

අම්මා මගෙන් ඇහුවා.

"මුකුත් නෑ අම්මේ... මම මේ ඉර බහින දිහා බලගෙන හිටියා..."

"කොහොමද දුවේ කැම්පස් එකේ වැඩ එහෙම? කරදරයක් නෑ නේද? වැඩ ගොඩක් ඇති නේද දැන්?"

අම්මාගෙන් එක දිගට ප්‍රශ්න වැලයි.

'"කැම්පස් එකේ වැඩ නම් ප්‍රශ්නයක් නෑ අම්මේ. වැඩ නම් වැඩියි තමා මේ දවස් වල. අන්තිම විභාගෙත් ළඟයි නේ. "

 "වැඩ වැඩි විභාගේ ළඟ නිසා නෙමේ නේ. ජීවිතෙන් පැනලා යන්න බැරිකමට වැඩ අතරේ ජීවිතේ හංඟන්න හඳන්නේ කියලා ඇයි අම්මට කියන්නේ නැත්තේ. උඹත් අර හඳ වගේ රිතූ... අහිමි බව දැන දැන, හිමි නොවන බව දැන දැන බොරුවට විඳවනවා... "

මගේ හිත ඇතුළෙන් කවුදෝ කෑ ගහලා මට කියනවා. මම ඒ හඬ නොසළකා හැරියත් ඇත්ත නම් ඒකයි කියලා මම හොඳාකාරවම දන්නවා. ඒත් අම්මාට ඒ ගැන කියලා අම්මා මොනා කරන්නද? ඊට පස්සේ අම්මාටත් ගින්දරක්.

ඒත් ඒ මගේ අම්මා. මා උපන් දා ඉඳන් මගේ හැමදේක දීම මගේ ළඟම හිටපු අම්මා. මගේ හදවත් ගැහෙන රාවය අඳුනන, මුවින් නොබැන දෑසින් පවසන බසට පිළිතුරු දෙන, මගේ ආත්මයටම අවිච්ජින්න ව බැඳුණු මගේ අම්මා ඇය. අම්මා මං ගැන මටත් වඩා දන්නවා. මගේ වේදනාව කාට හැංඟුවත් අම්මට හංඟන්න බෑ කියලා මට තේරුණා.

අම්මා මගෙන් කිසිත් නොඅසා නිහඬවීමෙන් මගේ වෙනස අම්මාට තේරුණා කියලා මම දැන ගත්තා. ඒත් අම්මා කවදාවත් මගෙන් බලෙන් කිසිම දෙයක් අහන කෙනෙක් නෙමේ. ඉතින් අම්මාත් නිහඬ වුණා. ඇත්ත තමයි. හැමදේම හොඳින් නම් ඇයි මේ විභාගේත් අද හෙට තියෙද්දි හදිස්සියේම ගෙදර දුවන් එන්නේ. මට මහ වරදකාරී හැඟීමක්  දැනුණා. අපි දෙන්නා අතර නිහඬතාව මාව ගිලගන්න හඳනවා වගේ.

"දූ අද පන්සලේ බණක් තියෙනවා. මම මේ යන්න කියලා හිතන් ඉන්නේ. දූත් ලෑස්ති වෙලා එනවද මාත් එක්ක යන්න?"

අම්මා අපි දෙන්නා අතර නිහඬතාවයට විරාමය තැබුවා. මගේ හිතට විසල් සැනසීමක් දැනුණා.

"හරි අම්මේ. මම ලෑස්ති වෙන්නම්. "

අම්මට කියපු මම බංකුවෙන් නැගිටලා ගේ පැත්තට ගියා. ටික දුරක් ගිහින් හැරිලා බැලුවම අම්මා මං දිහා ඇහිපිය නොහෙලා බලන් ඉන්නවා. හරියට මං අම්මා කවදාවත් නොහිතපු දෙයක් කළා වගේ. අම්මාට මං ගැන තිබුණු  බලාපොරොත්තු බිඳුනා වගේ.

"රිතූ උඹට පිස්සු. උඹේ හිතමයි ඔය උඹට වද දෙන්නේ."

මටම කියාගත්තු මම අම්මා එක්ක හිනා වුණා. හැමදාම අම්මාගේ මූණ එළිය කරන ඒ සිරියාවන්ත මඳ හිනාවට මගේ හිනාව දත් විලිස්සීමක් විතරයි. මට මං ගැනම ඇති වුණේ එහෙම හැඟීමක්.

 මං ලෑස්ති වෙලා මිඳුලට එද්දී අම්මා ලෑස්ති වෙලත් ඉවරයි. සුදු සාරිය නිසා අම්මව මට පෙනුණේ හරියට සුදුම සුදු හංස ධේනුවක් වගේ. අම්මාගේ අභිමානය ළඟ මම හරියට පයට පෑඟෙන වැලි කැටයක් තරම්වත් වටිනාකමක් නෑ කියලා මට හිතුණා. සුදු පාටට මල් පිපුණු වතුසුදු ගහ මට හරියට ඔච්චමට හිනා වෙනවා වගේ. "සුදු පාට කියන්නේ පවිත්‍රත්වය. උඹට සුදු පාටින් දිලෙන්න බෑ රිතූ. "

වතුසුදු ගහ මගේ කනට කරලා කෑ ගහනවා වගේ. ඉස්සර වගේ අම්මා‍ත් එක්ක මල් කඩන්න ආස හිතුණත් මම ඉස්තෝප්පුවේ වාඩි වෙලා බලාගෙන හිටියා. මම මල් කඩන්න ආපු නැති එක ගැන නම් වතුසුදු ගහට බොහොම සැනසීමක් කියලයි මට හිතුණේ.

"ලොකු දූ... ලැස්ති වෙලා ඉවරද? මම මේ මල් ටිකකුත් කඩා ගත්තා වට්ටියට. දූ ලැස්ති වෙලා ඉවර නම් අපි යමු. මේසේ උඩ ඇති අනිත් බඩු ටික. ඒ ටිකත් අරගෙන දොර වහලා එන්න දුවේ. "

"හරි අම්මේ" කියපු මම ගේ ඇතුළට ගියා. අම්මාගේ වැඩ හරිම පිළිවෙළයි. සාලේ මේසේ උඩ පොල්තෙල්, හඳුන්කූරූ, පහන්තිර හැමදේම ලස්සනට පන් මල්ලකට දාලා තිබුණා. ඒකත් අරගෙනම මම දොරත් වහගෙන එළියට බැස්සා.

කඩුල්ලෙන් පනිනවත් එක්කම ඉස්සරහට ආවේ සීලවතී නැන්දා.

"ඉස්කෝලේ හාමිනේ පන්සල් යන්නද?"

"ඔව් සීලවතී. ලොකු දූත් ගෙදර පැත්තෙ ආපු එකේ පන්සලට ගිහින් එන්න කියලා. අද හොඳ බණ වැඩසටහනකුත් තියෙනවලු."

අම්මා ඇත්තටම දුයිශෙන් කෙනෙක්. ඇගේ දහසක් දුක් ගිනි මැද සියලු වෙර වීරිය දරා ඇය ගමේ දරුවන්ගේ දෙනෙත් පෑදූවා. ගුරුවරුන් වූ අම්මටත් අප්පච්චිටත් ගමේ හැමෝම බොහෝ ගරු සම්මාන කළේ ඔවුන්ගේ අවංක සේවය නිසාමයි. ඒත් මට යන්තම් අවුරුදු 15ක් වෙද්දි අප්පච්චි අපිව දාලා ගියේ ඊට අවුරුද්දකට කලින් කුමක් දැයි සොයා ගත

නොහැකි වූ රෝගයකින් අප තනිකර ගිය අවුරුදු 10ක් වුණු චූටි නංගිගේ වෙන්වීම දරා ගන්න බැරුවයි. අප්පච්චි නැති වුණු දා පටන් අම්මා මට මවක්ම නොව පියාද වුණා. අම්මාගේ මුළු ජීවිතේම මම. ඒක මතක් වෙද්දි මගේ පපුව හිර වෙනවා වගේ මට දැණුනා.

"ලොකු දූ... බණ මඩුවට යන්න කලින් බෝධියට ගිහින් එමු..."

සිතිවිලි අතරින්ම අපි පන්සලටත් ඇවිල්ලා. මමත් අම්මාගේ පස්සෙන් වැටිලා ඔහේ ගියාට මගේ හිත හැම තැනම දුවනවා. හරිම චංචලයි. මේ වගේ විසුරුණු හිතක් එක්ක කොහොම විභාගෙට පාඩම් කරන්නද?  වෙනදට පන්සලට ආවම දැනෙන සන්සුන් බව අද මගේ හිතේ නෑ. පන්සලකට ආවමවත් සන්සුන් වෙන්න බැරි තරමටම මම ප්‍රශ්න ගොඩක හිර වෙලා කියලා මට දැණුනා. මම හිමීට හිමීට මල් වට්ටිය පිළියෙළ කළා.

"ඉස්කොලේ හාමිනේ... යමු බණ මඩුවට... අද වේලාසනින්ම බණ පටන් ගන්නවා... හාමුදුරුවෝ වැඩියා... "

පහළ ගෙදර පියසීලී නැන්දා ඇවිත් කිව්වා. අපිත් නැන්දා එක්කම ගිහින් බණ මඩුවේ වාඩි වුණා.

ආසනයේ වැඩ හිටියේ ලොකු හාමුදුරුවෝ නෙමේ. මෙහෙණින් වහන්සේ නමක්. එහා ගමේ මෙහෙණි ආරාමෙට අලුතින් වැඩිය මෙහෙණි වහන්සේ නමක් කියලා පියසීලී නැන්දා මට කිව්වා. මෙහෙණීන් වහන්සේ හරිම තරුණයි. මටත් වඩා බාලද මන්දා කියලා මට හිතුණා. ඇගේ රූපය පින් පාටින් දිලෙනවා. ඇගේ රූපයෙන් මුළු පළාතම එළිය වෙලා කියලා මට හිතුණා. මේ තරම් සුන්දර තරුණියක් ඇයි සසුන්ගත වුණේ? මට එකපාරටම හිතුණා.

"සියලු දේනාම පන්සිල් සමාදන් වෙන්න නමස්කාරය කියන්න."

ඇගේ කටහඬ ඉතාමත් මිහිරියි. සෞම්‍යයි. ශාන්තයි. මගේ හිත සන්සුන් වෙනවා කියලා මට දැණුනා.

"මිනිස්සුන්ගේ හිත හරිම පුදුමාකාරයි. එක තැනක ඉන්නේ නෑ. හැම තැනම දුවනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ දුරං ගමං ඒක චරං කියලා අන්න ඒ හිතේ ස්වභාවය"

ඇයිද කියන්න නොතේරුණත් මට දැණුනේ ඇය කියන හැම බණ පදයක්ම මටමයි කියන්නේ කියලා. මං ළඟට ඇවිල්ලා මටම කියනවා වගේ මට දැනුණා. මගේ මනසේ ඇගේ වදන් දෝංකාර දුන්නා.

"අතීතය කියන්නේ සිහිනයක්. අනාගතය මායාවක්. ජීවත් වෙද්දී අතීතයේවත් අනාගතයේවත් නෙමේ වර්තමානයේ ජීවත් වෙන්න ඕන. මේ මොහොතේ ජීවත් වෙන්න කියලයි බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ."

මේ මොහොතේ ජීවත් වෙන්න...

අතීතය හීනයක්...

අනාගතය මායාවක්....

මේ මොහොතේ ජීවත් වෙන්න...

මේ මොහොතේ...

"මේ මොහොතේ ජීවත් වීමෙන් විතරයි ජීවිතය ජය ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. අනාගතය මායාවක්. ඒ මායාව බිඳලා ආලෝකමත් කරගෙන සාර්ථක වෙන්න නම් මේ මොහොතේ ජීවත් වෙන්න."

සත්‍ය වටහා ගන්න...

මේ මොහොතේ ජීවත් වෙන්න...

මේ මොහොතේ...

"අතීතය ගැන පසුතැවිලා වැඩක් නෑ. අපිට වුණු වැරදි හරිගස්සන්න බෑ. අනාගතය ගැන බිය වෙලත් වැඩක් නෑ. අනාගතයේ මොනවා වේවිද අපි දන්නේ නෑ. ඉතින් අපි දන්න තේරුම් ගන්න පුළුවන් මේ වර්තමානයේ මේ මොහොතේ ජීවත් වෙන්න."

ඔව් රිතූ...

පසුතැවුනා කියලා වුණු දේවල් වෙනස් කරන්න බෑ...

අනාගතය ගැන බය වුණා කියලා වෙන සෙතක් නෑ...

මේ මොහොතට මුහුණ දෙන්න...

මේ මොහොතේ ප්‍රශ්න වලට උත්තර හොයන්න...

තාමත් ඇති වෙලාවත් නැති ප්‍රශ්න ගැන හිතුවට උඹට උත්තර ලැබෙන්නේ නෑ රිතූ... වුණු දේවල් ගැන පසුතැවුණට ඒවා වෙනස් වෙන්නෙත් නෑ රිතූ...

මේ මොහොතේ ජීවත් වෙන්න රිතූ...

ඔව්... මම අද ඉඳන් මේ මොහොතේ ජීවත් වෙනවා...

කවදාකවත් නොදැණුනු මහා සැනසීමක් මට දැණුනා.......

..............................................................

කාලය ගෙවිලා ගිහිල්ලා. ගම ගොඩක් වෙනස් වෙලා. මගේ ගෙදරත් එහෙමයි. ඒත් මට හැමදාම හෙවණ දුන්නු සේපාලිකා ගහත් ඒ යට බංකුවත් එහෙම්මම තියා ගන්න මම වග බලා ගත්තා. ඒ බංකුවේ වාඩිවෙලා මම ඈත අහසේ බැස යන හිරු දිහා බලන් හිටියා...

"අම්මා... මම අත්තම්මා එක්ක පන්සලට යනවා. අම්මත් එනවා නේද?"

පාරමි වාසනා... මගේ එකම දුව. දැන් අවුරුදු 20ක්. ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය විද්‍යාව හදාරනවා. හැම අවුරුද්දකම දුවගේ උපන්දිනේට අපි ඇමරිකාවේ ඉඳලා ගෙදර එනවා. පන්සලට දානයක් දීලා ටික දවසක් ඉඳලා යන්න. උපාධිය සම්පූර්ණ වුණාට පස්සේ මම ටික කාලයක් කොළඹ නැවතිලා හිටියා. දුවව ලැබිලා අවුරුදු 2ක් වගේ යද්දි මම දුවවත් අරගෙන ඇමෙරිකාවට ගියේ අම්මාවත් ගෙන්න ගන්න හිතාගෙන. ඒත් අම්මා හැමදාම වගේ තාමත් හරිම ධෛර්යයවන්තයි. අම්මා තනියම මහ ගෙදර ඉන්නවා. දුවයි මායි පුළුවන් හැමවෙලේකම අම්මා බලන්න එනවා. දුවටත් මටත් මේ ලොකේ ඉන්නේ අම්මා විතරයි. මගේ ජීවිතේ හැම දුකකදිම හැම සතුටකදිම මගේ ළඟින්ම හිටියෙ අම්මා. දැන් මගේ ජීවිතේ හැම කඩාවැටීමකදීම මම දුවගේ මූණ බලලා දිරි ගන්නේ මගේ දුවටත් මම හැකි තරමින් මගේ අම්මා මට වුණා වගේ ආදර්ශයක් වෙන්න. බාධක මැද ඉන්ද්‍රඛීලයක් වගේ අම්මා නොසැලී හිටියා. ගැහැනියකට තනියම වුණත් ජීවිතේ ගොඩ නඟා ගන්න පුළුවන් කියලා අම්මා මට පෙන්නලා දුන්නා. ජීවිතේ වරදින්න නැති වෙන්න පාර කියලා දීලා ඒ පාරේ යන්නේ නැතුව ජීවිතේ වැරදුණාම ආයේ ජීවිතේ ගොඩ නඟා ගන්නත් අම්මා මඟ පෙන්නුවේ එකම වගේ මැදිහත් සිතකින්.

මට මගේ අම්මා වෙන්න නම් බැරි වේවි. ඒත් හැම මොහොතකම මම මට පුළුවන් උපරිමයෙන් මගේ දුවට හොඳ අම්මා කෙනෙක් වෙන්න උත්සාහ කරනවා. මට වගේම මගේ දුවටත් අම්මාටත් තාත්තාටත් දෙන්නටම ඉන්නේ අම්මා විතරයි. හැමදේම හොඳින් තේරුම් ගෙන ගුණගරුකව හැඳුණු මගේ දුව මට වාසනාව අරගෙන ආවා.

"අම්මා... අනේ ලැස්ති වෙන්නකෝ..."

දුවට පන්සලට යන්නත් හදිස්සිය...

"දූ... අම්මාට ටිකක් ඉන්න දෙන්න. අම්මා හරි කැමතියිනේ ඔය බංකුවේ වාඩි වෙලා ඉර බැහැගෙන යනවා බලන් ඉන්න."

අම්මා කියනවා මට ඇහුණා.

මම ආයෙමත් අහස දිහා බැලුවා.

ඉර බැහැගෙන යනවා. හැමදාම වගේ අහස ටිකෙන් ටික රටා මවනවා. ඒ රටා ඇතුළේ මම මගේ ජීවිතේ හෙව්වා. ඒ රටා මගේ ජීවිතේ හොඳම පාඩම් මට කියලා දුන්නා. මැඳුම් පිළිවෙතින් දිවි ගෙවන්න මේ අහස් තලයත් දන්නවදෝ කියලා මට හිතුණා.

හැමදාම උදේට පායන ඉර හවසට බහිනවා. ඒක අහස දන්නවා. ඒ වගේම ඉර බැහැලා ගියාට හඳ පායනවා කියලත් අහස දන්නවා. අහස රතු පාටින් රටා මවන්නේ ඒ සඳ කුමරිය පිළිගන්නද කොහෙද. ඉර අහිමි වුණත් සඳ තරු පැටවු එක්ක හිනා වෙමින් සෞම්‍ය කිරණ විහිඳුවනවා. අහිමි හිරු ගැන නොතැවී හිමි දරුවන්ටත් නොඇලී සඳ හැමදා නිසලව බලා හිඳ ලොවට සිසිල දී උදයේ නිහඬව බැස යනවා. ඔව් රිතූ. හඳ හිමිහිට බැහැලා යනවා.

Written By:

Madhushika Gihanthi Munasinghe
(8th Place- Creative Content Category)
WORDSVILLE’20

No Comments

Post A Comment