තෝඩු

අවටින් නැගෙන්නා වු සියලූ ශබ්ද මට කරනා සමච්චලයක් මෙනි. වැව් ඉස්මත්තෙ කුඹුක් ගසට මා නැවතත් තදින් පහරක් දුන්නෙමි. අත පුපුරා වෑස්සෙන රුධිරය දෙස මා බලා සිටියේ මා ගැනම උපහාසයෙනි.

''මා පියෙක් ද? "

මම මගෙන්ම විමසුවෙමි. මම නැවතත් බිම වැතිරුණේ හිරි වැටුණු අත නිසා සිරුර පුරා ඇදි යන ඇති දරාගත නොහැකි රිඳුම නිසාවෙනි. නැවතත් මට ඇගේ සඳවන් මුහුණ සිහිවුණි. නැවතත් සර්වාංගයම පුළුස්සන කෝපයත්, ලැජ්ජාවත්, සංතාපයත් නිසා පපුව පැලෙන්නට ආසාන්නාක් මෙනි. දැනෙනා පරාජිත හැගීම දරාගත නොහැකිව මම පපුතුර දෝතින් බදාගත්තෙමි.

ලොක්කි වැඩිවියට පැමිණි පුවත සඳා මා කන කෙඳිරූ ඒ හිමිදිරිය මට නැවත සිහිවිය. එදින අප දෙදෙනාටම දැනුනේ සංතෝෂයක් සමඟ සංතාපයකි. පොඩ්ඩි අසනිප වීමත් සමග අතේ තිබු මුදල් ඇගේ බෙහෙත් වලටම සින්න වීමෙන් රටේ ආර්ථිකය සමග පොරබදිමින් යන්තමින් දිවි ගැටගැසූ අප පැලෙහි සතයක්වත් ඉතිරිව නොතිබිණි. ලොක්කිට කණකර දැම්මටත් අප අත රුපියලයක් නොතිබීම අද මා පත්ව ඇති තත්වයට මුලාරම්භය වේයැයි අසරණ මා හිතෙන්වත් නොසිතුවෙමි.

"සන්තකේම තියෙන්නේ පන්දාහයි, ලොක්කිට ලොකුවට උත්සව තියන්න ගියොත් පොඩ්ඩි ආයෙත් අසනිප වුණොත් ගන්න රුපියලක් නැති වෙනවා. වැඩපළටණය වෙන්නත් බෑ තව. නැකතත් බලල කාටවත් නොකියා නාවල ගෙට ගත්තොත් ලොක්කි තරහා වෙයි ද සඳා ? ”

දහස් වාරයක් කල්පනා කර එදින රාත්‍රියේ මා විමසුවෙමි.

"ලොක්කිට හරියට ඉස්කොලේ ඇදුමක්වත් නෑ නොවැ. ලොක්කිගේ තෝඩු දෙක උකස් කරේ නැත්නම් ඒ දෙකට වෙන දෙකක් මාරුකරගන්න හරී තිබ්බා. උත්සවයක් නැතත් කෙල්ලගේ කනේ කරපිංචා නැට්ට තියන්න ලෝබයි සරත්. "

සඳා හිල්ලුවා ය.

"ලබන මාසේ මං කොහොම හරි ලොක්කිගේ කරාබු දෙක හරි බේරෙන්නම් සඳා... මද්දුම්ගෙයි, තෙවෙනිගෙයි කරාබු ඊළග මාසේ හරී බැරියැ'' මම සුසුමක් හෙලුවෙමි.

ගැහැනු දරුවන් හතර දෙනෙකුගේ බර හිස මත දරා සිටින මා යෝධ පියෙකි. නිතර අසනීප වන පොඩ්ඩිගෙ බෙහෙත් සඳහා මෙවර කනකර පවා උකස් කිරීමට සිදු වූ පසුබිමක ලොක්කීගේ මල්වරය රක්ෂිත මායිමක යන්තන් ඇටවු මැටි පැළක ජීවත් වූ අපට තවත් හීල්ලුමක්ම පමණක් විය.

යන්තම් රහසේම නාවා ගෙටගත් ලොක්කි මල්වරයෙන් පසුව නැවත පාසල් යාමට දැක්වූවේ තරමක් අකමැත්තකි. පහේ ශිෂ්‍යත්වය සමත්ව ඇයට නගරයේ උසස් පාසලකට ශිෂ්‍යත්වයක් හිමි විය. එම පාසලටම ගියේ ගම්මානයෙන්ම මාගේ ලොක්කිත් මුදලාලිගේ දියණියත් පමණක් බව මා සියල්ලටම පැවසූයේ ආඩම්බරයෙනි.

"ලොක්කි හූල්ලන්නේ ඇයි සඳා....' මා රාත්‍රියේ සඳාගෙන් විමසුයේ රහසිනි.

"ලොක්කිට පන්තියේ ළමයිට දෙන්න කැවුම් ටිකක්වත් නෑ නොවැ .එකයි ඔය... මහත්තයා ඕවා හිතන්න ඕන නෑ. ඕක ඇරිලා යයි.''

සඳා මා හිස අතගා අස්වැසුවාය. සඳා මැගේ ශක්තියයි. දහසක් දුක් පැමිණියද සියල්ල සමසිතින් දරා මා අසලින්ම දැවටෙන ඇය ගමමානයේම සුන්දරම කාන්තාවයි. ඇයවන් පත්තිනියක් ලැබූ මා ලොව වාසනාවත්තම සැමියායි.

"පොඩ්ඩි අසනිප නොවුනානම් මම ලොක්කිට ඔහොම කරන්නේ නෑ සඳා ...''

"ලොක්කි නොකිව්වට සුදු හාමිනෙගෙන් ලොක්කිට් හරියට වෙනස්කම් ඉස්කොලෙදි..."

"සුදු හාමිනේ කිව්වේ ......... මුදලාලිගේ දුව.... ඕවානම් ගෙදරින්ම උගන්නලා වෙන්න ඇති සඳා...මුදලාලි දවසක් මටත් කිව්වා ලොක්කිව ඉස්කෝලෙන් අයින් කරගන්න කියළා."

"අපේ ලොක්කි හර් දක්ෂයි සරත්. මේ පාරත් පන්තියේ දෙවෙනියා. ආසාවේ බැරුවා මට දෙමාපිය මීටිමේදි.....මුදලාලි නෝනාගේ මුණ දෙක වෙනවා බලාගෙන මං...

"ලොක්කි අපේ හයිය. මේ නරාවලෙන් අපි සේරම ගොඩ දාන්නේ දවසක ඒකී තමයි." මා හැමදාම ලොක්කි ගැන කතා කරන්නේ ආඩම්බරයෙනි.

ලොක්කි පාසලට ගොස් පැය කිහිපයකට පසුව මුදලාලිගේ මෝටර්රථය වැඩපළට හදිසියෙන් පැමිනිණි. නමුත් එයින් බැස මා වෙත දිව එන සඳා දුටුවිට දැනුණේ විස්සෝපයකි. නමුත් සදාගේ විලාසය දුටු මට එය ක්ෂණිකව අමතක විණි.

''සඳා..... සඳා..... රත්තරනේ මොකද මේ..... කෝ පොඩ්ඩි..''

"අනේ සරත් ...අනේ ලොක්කි..... අනේ ලොක්කි...."

"ලොක්කී....කෝ ලොක්කි... මොකද වුණේ  සඳා.....මොකද මේ ගෙදර ඇඳිවතින්....''

සඳාගේ දෙරේ ගලන කදුළුත්, විරූපි මුහුණත් මහා අඳුරක පෙරනිමිත්තකි.

“අන්න උබලගේ ලොක්කි ඉස්කොලෙදි දිවි නහගන්න හදලා.. මට ඉස්කෝලෙන් කතා කළා උඹලට කියන්න කියලා. කොහෙද හදිස්සියකට උඹලට පෝන් එකක් තරමවත් තියනව කියලද ? .... මුදලාලි ශබ්ද නගා සියල්ලම ඇසෙන්නට පැවසුවේ උපහාසයෙනි.

මොකක්...? මා හදවත මඳකට නතර විණි. දෙයියනෙ ලොක්කි.........!

මොකක්..... අපේ ලොක්කි... දෙයියනේ....! මොන අපරාදයක් ද?"

''අපරාද කරන්නේ උබල තමයි. ඇගිල්ලේ තරමට ඉදිමෙන්නෙ නැතුව ගැනිගෙයි මිනිහගෙයි දෙන්නගෙම උද්දච්චකම නිසා තමයි සේරම... මුදලාලි සඳා වෙත නොමනා බැල්මක් හෙළමින් පැවසුවේ මා කෝප ගන්වමිනි. නමුදු ලොක්කි...! මට නැවත සිහිවිය.

"ඇටෙන් පොත්තෙන් එළියට එද්දි මොන මොන නාඩගම්ද දන්නේ නෑ.... නැත්නම් යන්තම් නාවල ගත්ත කෙල්ලක් දිවිනහගන්නෙ මොන කෙහෙම්මලටද? "

මුදලාලිගේ නොකඩවා එල්ලවන වාග් ප්‍රහාර පිළිබදවත් මට සිහියක් නොවූයේ පපුතුරෙහි වැලපෙන සදාත්, ලොක්කිත් නිසාය.

පොඩ්ඩි නිසා පාපැදියත් විකිණුවෙන් ලොක්කී බැලීමට පාසලට යාමට වූයේ මුදලාලිගේ වාහනයෙන්මය. ඔහු සඳා වෙත හෙළනා නොමනා බැල්මත් මට ඒ මොහොතේ සිහියට නොආවේ ලොක්කි වෙනුවෙන් හද ගිනියම්ව තිබූ හෙයිනි.

මුදලාලි ගම්මානයේ පොහොසත්ම ව්‍යාපාරිකයායි. සල්ලාල ඔහුගේ මුදලට යට නොවුණු ගමේ ගැහැනු අතලොස්සේ මාගේ සදාත් සිටියාය. මුදලාලි මෙතරම් නොමනා වදන් පැවසීමට හේතුවද එය වීම මට එක අතකින් ආඩම්බරයකි.

''මෙහෙමයි අම්මේ තාත්තේ, අපේ පාසල නගරයේ තියෙන කීර්තිමත්ම පාසල. ඒ වගේම ශාක්‍යා කියන්නේත් පාසලට ජයග්‍රහණ ගොඩක් ගෙනාව දක්ෂ කීර්තිමත් ශිෂ්‍යාවක්. ඇය ඇත්තටම අප දුන් ශිශ්‍යත්වයට නිසි වටිනකමක් දෙන ළමයෙක්...නමුත් අද ශාක්‍යා පාසල් වේලාවෙදි අර තට්ටු 4ක ගොඩනැගිල්ලෙන් පැනලා ඛේදවාචකයක් වුනා නම් අපේ පාසලට වෙන අපකීර්තියට මේ හැමදේම පරාදයි."

මා විදුහල්පතිනියගේ වදන් අසා සිටියේ සිහිනයෙන් මෙනි. බලාගත් අත බලා කල්පනා කරමින් සිටින ලොක්කිව තුරුළු කරගත් සදා ඉකිගැසුවාය. ඒ සියල්ල මා හදවත ගිනිබත් කරයි.

ඒ වගේම ශාක්‍යා වගේ දරුවෙක් පාසලටත්, ඔයාලටත් අහිමිවෙන්න තිබුණා. ඒක ඇත්තටම හිතන්නවත් අපහසු සංවේදි කාරණාවක්. මේ සිදුවීමට මුල්වෙලා තියෙන්නේ පාසලේම තවත් ශිෂ්‍යාවන් පිරිසක් ඇගේ ආර්ථික තත්වය මුල්කරගෙන වාචිකව හිංසනයට ලක්කරලා තියනවා බිග් ගර්ල් පාටියක් නොමැති වීමත් එක්ක. ඇත්තටම කනේ කරපිංචා නැට්ටක් ගහල තියෙන එක තමයි ප්‍රධාන හේතුව. ශාක්‍යාට දිර්ඝකාලීනව සිද්දවෙලා තිබුණත් එයා පැමිණිලි කරල නෑ. ශාක්‍යා වගේ ශිෂ්‍යත්වය හරහා ළමුන් සුළු පිරිස ඇරුණු කොට මේ පාසලේ සියලූම ළමයි ආර්ථික තත්වයේ උසස් අය. ඒ නිසා ඇත්තටම දරුවන් අතර එවැනි දෙවල් සිද්ධ වුණත් ඒවා කොහොමවත් අනුමත කරන්න බෑ."

විදුහල්පතිනිය පවසන වදනක් පාසා මගේ හදවත ඇවිළිණි. අප විදුහල්පති කර්යාලයට එනවිට හමුවූ පාසලේ ළමුන් පවා අප දෙස උපහාසයෙන් බැලිමට හේතුව අපගේ දරිද්‍රතාවය ද? අනේ මගේ ලොක්කි...!

''ඇත්තටම අම්මා තාත්තා..ඔයාලගේ ආර්ථික අපහසුතා අපට හොදින් තේරෙනවා, අපි ශාක්‍යාව උපහාසයට ගත් ළමයි ගැන අනිවාර්යෙන්ම වෙතම පරීක්ෂණයක් කරනවා. නමුත් මින් පසුව ඔයාලත් තව ටිකක් සැළකිලිමත් වෙන්න ඕත ශාක්‍යාව අපහසුතාවයට පත්වෙන විදිහට පාසලට එවන්නේ නැතුව ඉන්න..."

විදුහල්පතිතිය එය පැවසූයේ අපගේ වැහැරුණු ඇඳුම දෙසද බැල්මක් හෙළමිනි.

නිවසට ආ පසුවද ලොක්කීගේ මුහුණ ගුප්තය. විටෙක කල්පනා කරමින් විටෙක හඬමින් සිටින ලොක්කිගේ ස්වභාවය මාවත්, සඥාවත් දවා අළු කළේය.

"ලොක්කි .... මයේ මැණිකට ඉස්කොලේ යන්න මොනාද ඕන රත්තරන්.....'' ලොක්කිගෙන් මා විමසුයේ ඇයව සිප ගනිමිනි.

"සුදුහාමිනේ මට හිනා වෙනවා අප්පච්චි.. මට කරාබු දෙකක්වත් නෑ කියලා එයා ඉස්කොලේ හැමෝටම කියනවා. පන්තියේ සේරම එකතුවෙලා මට කරාබුනැට්ටි කියලා කියනවා. හුනුකොට්ටෙන් ගහනවා. සුදුහාමිගේ කරාඹු දෙක විසිදාහයිලූ. එයා තමයි මට හිනාවෙන්නෙම.. පොඩ්ඩි ලෙඩවුණේ නැත්තම් මටත් ගන්න තිබ්බ නේද අප්පච්චී'' ලොක්කිගේ ඉකිගැසිම මාගේ හදවත දවාලීය.

කරාබු නොමැතිව පාසල් යාමට අකමැති නිසාවෙන් ලොක්කි සතියක් පුරාවට පාසල් නොගියාය. ඇයට බලකිරීමට මාත් සදාත් බිය වීමු. කරාබු නොමැතිව දිනෙන් දින ගෙවෙද්දී මටත් සදාටත් ලොක්කිගේ අධ්‍යාපනය ගැන ඇතිවූයේ අසීමිත බියකි.

"ලොක්කී ගැන මට බයයි. සරත්. ඉස්කෝලෙ ගමනත් නැවතිලා. තිබ්බ කරාබු දෙක බේරන්නවත් විදිහක් ඇත්තෙම නැද්ද මහත්තයෝ..."

සඳා ඉකිගැසුවාය.

මට තේරෙන්නේ නෑ සඳා...මම ඇහුව මහත්තයගෙන් පොඩ්ඩිට ගත්ත ණය විසිදාහකට වඩා වැඩි. තව සල්ලි දේවියැ... මේ පාර ඒ ණයෙන් බාගයක් කපාගත්තම අතට හම්බෙන සොච්චමට කරාබු ගන්න තියා කන්නවත් බොන්නවත් ඇතිවෙයිද මංදා..... මා සුසුම් ලෑවේ පුපුරු ගහන හිස දොතින් බදාගනිමිනි.

"ලොක්කිව මෙහෙම ගෙදර තියාගෙන කොහොමද දෙයියනේ..! මළපොතේ අකුරක් බැරි මම මොනව කියාදෙන්නද?"

''නෑ නෑ සඳා ...මම ඉල්ලූවා වීරරත්නගෙනුත් ණයට 5000ක්. දැන් රත්තරන් බඩු ගිනි ගණන්නේ. උකස බේරගන්නට තව දෙදහක් ඕන. ඒක කොහෙන් හොයන්නද මන්දා" රටටම ණය වී සිටි මා තවත් දෙදහසක් කොහෙන් හොයන්නද..!

'ලොක්කිට ඉස්කොලේ යන්නත් ඕනිලු. ටියුෂනුත් යවන්නේ නෑ... කරාබු දෙක නිසා ලොක්කියි, අපේ බලාපොරොත්තුයි අපිට නැති වෙයිද සරත්....''

තවත් සතියක් ගෙවී ගියේ කරාබු නැතිවය. නිවසේ මුළුවල හුල්ලන සඳාත්, ලොක්කි දකින වාරයක් පාසා මාගේ හදවත පුපුරු ගැසිණි. දුප්පත් අපේ නිවසේ පිරි ඉතිරි ගිය සතුට හොරු ගෙන ගොස් මෙනි. මා වැඩපළේ වැඩිපුර පැයක් වැඩ කරන්නට ගත්තේද අමතර පැයකට වැඩිපුර රුපියල් 200 ගානේ හෝ එකතු කරන අටියෙනි.

කරාබු ගන්නට රුපියල් දෙසිය ගානේ එකතු කළහොත් කීයක් යයි ද?… සඳාත් ලොක්කිත් සිහිවන විට ඒ සියල්ල අමතක වේ.

සතියක් පුරාවට දුක්විද එක්කරගත් දහසත් සමඟ මා නිවසට පැමිණියේ සන්තෝෂයෙනි. මේ දිනවල සඳා සිටියේද දහාතේ කල්පනාවෙනි. කරාබු දෙක බේරගන්නට තව අවශ්‍ය රුපියල් දහසකි.

කාලෙකට පසුව ඇසෙන ලොක්කීගේ ප්‍රීතිමත් හඬ ඈත තියාම  ඇසෙනවිට මට දැනුනේ පුදුමයකි.

"අප්පච්චි.......අප්පච්චි.....මට කරාබු ලැබුණ......... මේ ලස්සනයි ද? සුදු හාමිනේගේ වගේම දෙකක්....''

"මොකක් ....සඳා.....'' මම සඳා දෙස බැලුයේ විමතියෙනි.

රතට හැරුනු ඇගේ දෙඇස්.... පැසුණු දෙතොල්...වෙහෙසුණු මුහුණ... මසිත කුතුහලයෙන් පිරී ගියේය.

"සඳා ....සඳා ... ඇයි ................ කොහෙන්ද සල්ලි... මෙච්චර ගණන් දෙකක්.......''

'මුදලාලි දුන්නා ...."

ඇය බිම බලාගත් වතින් කෙදිරුවාය.

"මුදලාලි...නිකන්ම.. ඇයි ඌ මගෙ ළමයින්ට කරාබු දෙන්නෙ.....ඇයි..... කියපන් ගෑණි....." මා සඳාගෙ දෙවුරහිසින් අල්ලා ඇයව සෙලෙව්වේ විස්කෝපයෙනි.

''ආවු...''

ඔවු... ඇගේ ඇග පුරාම ඇති සීරුනු පැල්ලම් .... ඇගේ දෙතොල් ....දෙයියනේ......!

"දෙයියනේ .. උඹ මොකක්ද මේ කළේ..... මා ඇයට දුන් අතුල් පහරින් ඇය පරඩැලක් මෙන් බිම වැටිණි.

"මීට වඩා හොදයි මාව මරාගෙන කැවනම් සඳා..."

මාගේ දෙකකුල් පණ නැති සෙයකි..... දෙයියනේ.... මුදලාලි.... උඹ මගේ සඳා අයිති කරගත්තා එහෙනම්.....!

ඒ මොහොතේ සඳාගේ වැලපීම් අතරින් උන්මන්තකයෙකු මෙන් නිවසින් බැස ආ මා තාමත් වැවු ඉස්මත්තේය... අතෙන් එන වේදනාවටත් වඩා හදවතේ වේදනාව දහස් ගුණයකින් ඉහළය. හදවත වෙලාගත් පරාජිත හැගීම සන්තාපය වේදනාව කෝපය හමුවේ සිහි එලවා ගන්නට මා බොහෝ වේලාවක් තැත් කළෙමි. සඳා කිසිසේත්ම කැමත්තෙන් මුදලාලි හමුවට නොයන බව මම දනිමි. එයට බිම බදා වැළපුණු ඇගේ කඳුළු සාක්ෂිය. අපේ කටුමැටි පැළ වෙළාගත් දරිද්‍රතාවය හා ලොක්කිගේ අනාගතය වෙනුවෙන් ඇය මුදලාලිට ස්ව කැමැත්තෙන් බිළිවන්නට ඇත. ඇයට සමාවදී කෙලෙස පිළිගන්නේදැයි මම නොදනිමි. අවසානයේ ලොක්කීගේ මුහුණ පිරී තිබු සුන්දර සිතභව මට සිහිවිණි. දිවිනසාගන්නට තරම් දරුණු පරාපිත හැඟීමක හද ගිළි තිබුණද දරු සිව්දෙනා වෙනුවෙන් මා ජීවත්විය යුතුමය. සිදු වූ සියලු අදුරු මතක අතරේ ලොක්කිගෙ සුන්දර සිනහව ම පමණක් සිහි කරමින් මා නැවතත් දෑස් පියාගතිමි.

Dilani Pushpika
1st place – Descriptive Articles
Wordsville 2.0

No Comments

Post A Comment