නොමියෙන දරුපෙම

"ආයෙත් මේ මගුල් හුළඟ"

හතරවෙනි පාරටත් වැහිච්ච ජනෙල් පියන අරින්න මම ආවෙ හුළඟට සාප කරන ගමන්. ඉස්සර තරම් වැඩ කරන්න හයි හත්තියක් මගේ ඇඟේ ඉතුරු වෙලා තිබුණෙ නෑ. අව්වට කරවෙලාම පාට ගිහින් ඉරිතලලා තිබුණු ජනෙල් පියනෙ කිරි කිරි සද්දෙත් එක්ක මගේ ඇටසැකිලි ගැහුණු ඇඟිලි වෙව්ලුම් කමින් ඉස්සරහට ගියා.

මම ආයෙත් පාර බැලුවා.

කලින් වගේමයි . කිසිම හැලහොල්මනක් නෑ.

මම මෙහෙම බලන් ඉන්න හයවෙනි දවස අද.

“මොනා උනත් පුතා අදනම් ඒවි" හිත ඇතුළෙ ඉන්න කවුදෝ මට කියනවා වගේ ඇහුණා. 

"හ්ම්...."

සේපාලිකා ගහයි, වැටකඩුල්ලයි නැත්තම් මිදුල පුරාමත් තිබ්බෙ හිස්කමක්. අලුත් අවුරුද්ද ගෙවිල ගිහින් තිබුණත් හිසතෙල් ගාන මංගල්‍යටවත් පුතා එයි කියලමයි මට හිතෙන්නෙ.

"ඉතින් කොළඹ රටේත් කොච්චරක් නම් වැඩ රාජකාරි ඇතිද? ලොකු මහත්තයෙක් උනාම ඔහොම තමා" ඊයෙ කඩපිලේදී මුදලාලි ඔහොම කියද්දි මට දැනුනෙ වචන කරන්න බැරි තරම් ආඩම්බරයක්. 

මම හෙමින් හෙමින් මිදුලු පැත්තට ඇවිදින්න පටන් ගත්හ. වරිච්චි බිත්තියට වාරු වෙලා යන ගමන් මට කල්පනා උනෙත් පුතා ගැන. දැන් මෙහෙම අමාරුවෙන් ඇවිදගෙන ගියාට තව පොඩ්ඩකින් පුතා ඇවිත් මාව එයාගේ කාර් එකේ එක්කන් යාවි. “අම්මේ.. මම ආවා" කියාගෙන දුවගෙන ඇවිත් මාව ඉඹලා මගේ කකුල් අල්ලල මට වඳීවි. ඉස්සර එයා ඉස්කෝලෙ යන කොට කරනවා වගේ.

සේපාලිකා ගහ යට තිබ්බලී බැම්මෙ මම වාඩි උනේ බලාපොරොත්තු ගොන්නක් එක්ක.

පුතා දැන් ඒවී දැන් ඒවී කියල හැම තත්පරේකම හිතෙන්න ගත්ත හින්දා මම වැටකඩුල්ලෙන් ඈත පාර බලන් ඉඳියේ ඇහිපිල්ලමක්වත් ගහන් නැතුව.

මෙහෙම ඉන්න ගමන් පුතාගේ ටිකිරි කතා මට ඉබේටම මතක් වෙන්න ගත්තා.

"අම්මේ, අම්ම දන්නවද මම ලොකු වුණාම කවුද වෙන්නෙ කියල" පුංචිම කාලෙ පුතා අහන්නෙ එහෙම.

“කවුද රත්තරනේ"

"මම මේ රටේ රජතුමා වෙනවා"

ඔය පුතාට තේරෙන හැටි. හිඟන්නන් රජවෙන්නෙ සුරංගනා කතාවල විතරයි කියල මට ඒ කාලෙ හිතුණට දැන් නම් මගේ පුතාටත් රජකම හම්බෙලා වගේ තමයි.

එක පාරටම ඇහුණු හැන්දෑවෙ හයට ගහන පන්සලේ ඝන්ඨාර සද්දෙන් මම ගැස්සිලා ගියා. හේබා ගිහිපු අහසෙ පාට මැකිල වටින් ගොඩින් කලුවර එන්න පටන් අරන් තිබුණෙ. කොච්චර වෙලා මේ බංකුවේ මම වාඩි වෙලා හිටියද කියල මටවත් නිනව්වක් තිබුණෙ නැහැ.

දැන් නම් පුතා මෙහෙම පරක්කු වෙන එක ගැන මගේ හිතට දැනෙන්නෙ බයක්. මම ආයෙත් පාර බැලුව කලින්ටත් වඩා කලුවරයි.වයසත් එක්ක මගේ ඇස් පේනවත් හොරයි. එහෙම කියල පුලුවන්ද? තව ටික වෙලාවක් බලනවා. එහෙම හිතුවට මගේ පපුවත් හයියෙන් ගැහෙනවා වගේ.

පුතාට මඟදී කරදරයක්වත් උනාද? හදවතේ හයියෙන්ම ගැහෙන තැනට දැනුණෙ එහෙම.

"පිස්සුද" මම ආයෙත් මටම කියාගත්තා.

මම හෙල්ලෙන්නෙවත් නැතුව පාර දිහාම බලාගෙන හිටියෙ.

එක පාරටම මාව ලී බංකුවෙන් ඉස්සුනේ ඉබේටම. ඈත කිරි පාට කාර් එකක එන්නෙ මගේ පුතා. ඔව්.. මගේ රත්තරන් පුතා. ඕනි කලුවරක මට පුතාව අඳුන ගන්න පුලුවන්. දැන් නම් මට දැනෙන්නේ රටක් රාජ්‍යක් දිනපු තරම් සතුටක්. අද මගේ පුතා එනවමයි කියල මම දැනගෙන හිටියා. අම්මෙක්ගෙ හැඟීම් වචන කරන්නේ කොහොමද? මට විතරක් නෙවෙයි ඕනිම අම්ම කෙනෙක්ට මෙහෙම තමයි.

මෙව්චර සතුටක් මට දැනුනේ හුගාක් කාලෙකින් කොයිතරම් දක්ෂ සිත්තම්කාරයෙක්ට උනත් මේ වෙලාවෙ මගේ මූණෙ තියෙන මේ සතුට චිත්‍රයක් අඳින්න බෑ කියල මට ඔට්ටු දාන්න පුලුවන්.

මගේ කකුල් කොච්චර වෙව්ලුවත් මට පුලුවන් තරම් ඉක්මනට මම ඇවිදින්න පටන් ගත්ත. මම පුතාගෙ කාර් එක ඉස්සරහට යන්න අඩිය තිබ්බ විතරයි කන් අඟුලු වැටෙන තරම් ගෝරනාඩුවකින් මගේ ඇඟම වෙව්ලුම් කෑවා. ඉබේටම වගේ මම හැරුණෙ ආපස්සට.

කාන්තාරයකට ආපු වැහි වලාවක් හුළඟට ගහගෙන ගියා වගේ මගේ මුලු භිතේම සතුට නැති වුණේ තත්පරයෙන්. ගෝරනාඩුවේ අයිතිකාරයා මහා සද්දෙන් දුම් ගොඩක් අස්සෙන් කෙලින්ම යන්නෙ මගේ පුතාගේ කාර් එක පැත්තට.

ඒ කලු පාට රාක්‍ෂයා එක්ක බලද්දී මගේ පුතාගෙ කාර් එක මට පෙනුණෙ කුරුමිට්ටෙක් ගාණට. කුරුමිට්ටෙක් චප්ප කරන එක රාක්‍ෂයෙක්ට කවදාවත් අමාරු උනේ නෑ. කිසිම අනුකම්පාවක් නැතුව පුතාවම කන්න බලන් එන රාක්‍ෂයාට ඒක කජු කනවා වගේ ලේසියි.

ඉතින් මම ඉක්මනට මුකුත් නොකලොත් මගේ පුතාගේ ජීවිතය විනාශ වෙනව කියල තේරුම් ගන්න මට අටුවා ටීකා පැහැදිලි කිරීම් ඕනි උනේ නෑ. දෙයක් හිතල තේරුම් අරන් කරන්න තරම් වෙලාවක් ඉතුරු වෙලා තිබුණෙත් නැහැ.

ඉතින් මම කළේ ඒ වෙලාවෙ කරන්න තිබබ හොඳම දේ.

දැවැන්ත රාක්ෂයා ඉස්සරහට මම දුවගෙන ගියේ පිස්සෙක් වගේ.

“පුතේ දුවපන්.... මගේ රත්තරනේ... දුවපන්...."

........................................................................................................................................................................................

කොහෙන්දෝ ඇහෙන උලමගේ මූසල නාදයත් සමඟ “ගෑණු කෙනෙක් කෝච්චියට පැනල" යන ශෝකජනක ආරංචිය ගම පුරා හීයක වේගයෙන් පැතිර යන්නට විය. කොල්ලො කුරුවිටන්ගේ සිට වයසකම වැඩිහිටියා දක්වාම රේල්පාර අසලට රැස් වෙන්න වුණේ ඔවුන්ගේ හදපිරි කම්පාවෙන් යුතුවයි.

“මැරිලද” එක් අයෙකුගෙ කුතුහලයක් වචන වලට පෙරළුණි.

“මැරීලදත් අහනවා" තවකෙකුගෙන් පිළිතුරක් ඇසුණි.

“මේ සිද්ධිය ගැන කට උත්තරයක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද මෙතන” අවසානයේ පොලිස් රාලහාමී තම ප්‍රශ්නය ඉදිරිපත් කළේ ය.

මෙතෙක් වෙලා තිබුණු කසුකුසුව නිමවී සියල්ලන්ම මීයට පිම්බාක් මෙන් නිහඬ වූහ.නිමේශයකින් බයාදු ලෙස ඉදිරියට ආ අයෙක් තම උගුර පාදා කතාවට සුදානම් විය.

“මහත්තයෝ මේ මැරිල ඉන්නෙ යසවතී. අපිට ගෙවල් දෙක තුනකට එහායින් තමා ඉන්නේ. මේකිගෙ මිනිහා අවුරුද්දකට කලින් ලෙඩ වෙලා මළා. යසවතීට හිටියා හරි අගේ ඇති කොලු පැටියෙක්. ඒකා ඉගෙන ගන්න හරිම හපනා. මාසෙකට විතර උඩදි දවසක් කොල්ල ඉස්කොලේ යද්දි වාහනයකට යට වෙලා මැරිල කියල තමා මහ ඉස්පිරිතාලෙන් පණිවිඩේ ආවේ.මහ ඉස්පිරිතාලෙ ඉඳන් ආවට පස්සෙ යසවතී වෙනස් උනා.අපිත් පුලුවන් විදිහට හිත හැදුවා. ඒත් පුතා නැතිවුණා කියල පිළිගත්තෙම නෑ. සතියකට විතර උඩදි ඉඳන් මගේ පූතා කාර් එකකින් එනවා කිය කිය ගමේ හැමතැනම කිය කිය ගියා.අද උඳේ කඩේදිත් කියනවා මමත් අහගෙන ඉදියෙ. එහෙම ගිහිල්ල වෙන්නැති මෙහෙම වින්නැහියක් කරගන්න ඇත්තේ"

මේ අතර සිටි තරමක තරුණයෙක් ද තමා දුටු දේ විස්තර කරන්නට වුණේය.

“රේල් පාරෙ රතු ලයිට් එක වැටිල තිබ්බ හින්ද මම කාර් එක නවත්තගෙන ඉඳියෙ. එක පාරටම මම දැක්ක මේ ගෑනු කෙනා පිස්සු හැදිල වගේ කොච්චිය එන පැත්තට කෑගහහෙන දුවනවා. කෝච්චියේ සද්දෙත් එක්ක මට හරියට ඇහුණෙ නැහැ. හැබැයි පුතේ පුතේ කියනව නම් ඇහුණා. මම වාහනයෙන් ඉක්මනට බැහැල ආවත් මම එනකොට පරක්කු වැඩියි” ඔහුගේ අවසාන වචන වල තිබුණේ බිඳුණු ස්වරූපයක්.

සියල්ලටම සාවදානව කන් යොමු කළ පොලිස් නිලධාරියා අවසානයේ තම සටහන් පොතේ මරණයට හේතුව ලියාගත්තේය.

“මානසික රෝගියකු විසින් සිදුකරගත් සියදිවිනසාගැනීමක්”

Written By :-

Kaveesha Gimhani
(Top 20 nominees)
Wordsville 2.0

No Comments

Post A Comment